උතුර දකුණ යා කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් යාපනය කන්කසංතුරය දක්වා ගමන් කරනු දැකීමට උතුරේ වැසියන් බලා සිටිනුයේ නොඉවසිල්ලෙනි. රටෙහි ජනතාවගේ ප‍්‍රධානතම ගමනාගමනය වූ දුම්රිය ගමනාගමනය මීට වසර 28කට පෙර වවුනියාව දක්වා සීමා කිරීමට එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් එදා සමත් වුණේ එම සංවිධානයේ එක් ජයග‍්‍රහණයක් වුවද උතුරේ ජනතාවට දුකක් දෙමිනි.
1985 වසරේ ජනවාරි මස 19 වැනි දින කිලිනොච්චිය කොකාවිල් ප‍්‍රදේශය ආසන්නයේ යාල්දේවි දුම්රියට බෝම්බ තබා පිපිරවීම හේතුවෙන් යුද හමුදා සෙබළුන් 28 දෙනෙකු හා සාමාන්‍ය වැසියන් සියයකට ආසන්න පිරිසක් මියගිය අතර තුවාල ලැබුවන් හා අනෙක් අය ජාත්‍යන්තර රතුකුරුස කමිටුව වෙතට ලබා දීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පියවර ගෙන තිබුණි.
වසර 28ක කාලය තුළදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරු දුම්රිය මාර්ගයේ ඕමන්ත සිට යාපනය දක්වාම තිබූ රේල් පීල්ලක් හෝ සිල්බර කොටයකුදු නොතියා සියල්ලක්ම ඔවුන්ගේ යුද බංකර් සඳහා යොදාගෙන තිබුණු අයුරු යුද්ධය අවසන් වීමෙන් පසුව දැකගනීමට හැකි විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාල්දේවි දුම්රියට බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීම හේතුවෙන් එහි ඉතිරි වූ කොටස් හා අතරමංවූ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට යාපනය කංකසන්තුරෙයි දුම්රිය ස්ථානයේ කංකසන්තුරෙයි යුද හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිතව ගාල් කොට ඇත. මෙය උතුරු දුම්රිය මාර්ගයේ ඉතිහාසයෙන් බිඳකි.
යුද්ධය අවසන් වීමෙන් පසුව 2011 වසරේ සිට ඉන්දියානු සමාගමක් විසින් උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නේ උතුරේ වැසියන්ගේ දුම්රිය ගමනාගමනයේ සිහිනයට යළි බලාපොරොත්තුවක් එක් කරමිණි.
කෙසේ වෙතත් වවුනියාව දුම්රිය ස්ථානයට සීමා වූ උතුරු දුම්රිය මාර්ගය කාලයාගේ අවෑමෙන් පළමුව වවුනියාව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි තාණ්ඩික්කුළම දක්වාද ඉන් අනතුරුව ඕමන්ත දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය විය.
ඕමන්ත දුම්රිය ස්ථානයද වවුනියාවට අයිති ප‍්‍රදේශයකි. එම නිසා උතුරේ වැසියන්ට එය එතරම් නොදැනුණි. නමුත් ඉන් එහාට පිහිටි සෑම දුම්රිය ස්ථානයක් කරාම දුම්රියක් පැමිණීම උතුරේ වැසියන්ට මහත් සේ දැනුනේ කාලයක් පුරාවට යුද්ධය බිහිසුණු ලෙස පැවති ප‍්‍රදේශ නිසාම නොව සිය ¥දරුවන් කෙදිනකවත් දැක නොමැති යකඩ යකා දැක සතුටු වන නිසාවෙනි.
ඕමන්ත සිට දුම්රියක් නැවතත් කිලිනොච්චියට ගමන් කරයි. එම දිනය නිල වශයෙන් සිදුවන්නේ සැප්තම්බර් මස 14 වැනිදා ජනාධිපති තුමන්ගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා පිහිටි දුම්රිය ස්ථාන වන පුලියන්කුළම්, මාන්කුළම් හා මුරුගණ්ඩි දුම්රිය ස්ථානද විවෘත වෙයි.
කොළඹ සිට කන්කසන්තුරය දක්වා කිලෝ මීටර් 409ක දුම්රිය මාර්ගයක් ඇත. මේ වන විට කිලිනොච්චිය දක්වා දුම්රිය ගමන් කරයි. එය උතුරේ ජනයා මෙන්ම ලක් ජනතාව ලබන ජයග‍්‍රහණයකි. රජය ප‍්‍රකාශ කරන්නේ ලබන 2014 වසරේ අලූත් අවුරුද්දට යාපනයට යාල්දේවි දුම්රිය ගමන් කරන බවයි.
එය කෙසේ වෙතත් ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා ඉන්දියානු සමාගම විසින් ඉදිකොට ඇති දුම්රිය මාර්ගය ඉතා හොඳින් ඉදිකොට ඇති බවට එහි පසුගියදා දුම්රියකින් ගමන් කළ මා හට දැනුණි. පසුගිය 06 වැනිදා ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍යවේදීන් පිරිසක්ද දුම්රිය මාර්ගය ඉදිකරනු ලබන ඉන්දීය සමාගමෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් පරික්ෂණ දුම්රිය චාරිකාවක් සංවිධානය කොට තිබුණි. ඉදිකෙරුණු නව දුම්රිය මාර්ගයේ පැයට කිලෝ මීටර් 100කට අධික වේගයකින් කිසිදු අවදානමක් නොමැතිව ගමන් කළ හැකි බවට ඉන්දීය සමාගම විසින් දැනුම් දී තිබුණි. එය මොනවට පසක් කරමින් පරීක්ෂණ දුම්රිය ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා පැයට කිලෝ මීටර් 100කට අධික වේගයකින් ගමන් කළ අතර ඊට අමතරව වෙනත් දුම්රිය මාර්ගවල ගමන් කරන විට ඇසෙන ශබ්දයට හාත්පසින්ම වෙනස් වූ ෂූ ශබ්දයක් පමණක් ඇසිණ.
”දුම්රිය කිලිනොච්චියට ගමන් කරන විට දුම්රිය මාර්ගය අසල සිටි නැවත පදිංචි දමිළ ජනතාව ඉතා සතුටින් ඒ දෙස බලා සිටියහ. නමුත් කුඩා ළමයින් මහත් සේ විලාප දී හඬමින් බිය වී නිවෙස් තුළට දිව ගියේ කෙදිනකවත් දැක නොමැති මෙම යකඩ යකා කිමෙක්ද යන්න නොදැන බැව් දුම්රියෙහි ගමන් ගත් කා හටත් වැටහුනි. ඒ අතර දුම්රිය දෙස ඇස් පිය නොහෙලා බලා සිටි තවත් පිරිසකි.
දුම්රිය කිලිනොච්චියට ළඟා විය. පළමුව පැමිණියේ පාසල් ළමුන්ය. ඔවුන් එකිනෙකා තරෙඟට මෙන් දුම්රිය අතගාමින් දුම්රියට ඇතුළ් වී නැරඹුවේ ඉතා සතුටිණි. එහි පැමිණි පාසල් ළමුන්ගෙන් 98%ක්ම පාහේ දුම්රියක් නොදැක සිටි ළමුන්ය. බොහෝ දෙනා දුම්රියක් දැක තිබුණේ රූපවාහිනියෙන් පමණි.
ඔවුන් දුම්රියක් තමන්ගේ පළාතට පැමිණීම පිළිබඳව කියා සිටියේ මෙවැන්නකි ”අපි හැමදාම අම්මට තාත්තට කියනවා අපිව කෝච්චියේ කොහාට හරි එක්කන් යන්න කියලා. ඒත් මේ වෙනකම්ම යන්න බැරි උනා. අපිට අපේ අම්මා තාත්තා කිව්වේ කොළඹ පැත්තට යන්න සල්ලි නෑ. කෝච්චිය මෙහෙට ආවහම අරන් යන්නම් කියලා. ඉතින් දැන් කෝච්චිය ආවනේ, අපි අදම ගෙදර ගිහින් කෝච්චියෙ යමු කියනවා. සල්ලි නෑ කිව්වොත් අපේ සල්ලි කැට හරි කඩලා යමු කියනවා. අපිට මේකේ යනකම් ඉවසිල්ලක් නෑ” මෙවදන් ඇසූ විට ඔවුන්ගේ හිත්වල සිර වී තිබු ආශාවන් කෙසේද යන්න වැටහෙයි.
කිලිනොච්චි දුම්රිය ස්ථානයට ගමන් කළ පරීක්‍ෂණ දුම්රියේ අප යන විටත් එහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබුණි. පරික්‍ෂණ දුම්රියෙන් බැසගත් මා හට කහට උගුරක් බීමට සිතුණද දුම්රිය ස්ථානය තුළ ආපන ශාලාවක් හෝ වෙළෙඳ සැලක් නොතිබුණු නිසාවෙන් දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි පොල් අතුවලින් ආවරණය කළ කුඩා වෙළෙඳසැලක් වෙතට ගොස් කහට උගුරක් බොන ගමන් එහි උන් වෙළෙඳ සැලෙහි හිමිකරු වන එස්. සෙල්වතුරෙයි නැමත්තා සමග කතාබහ කළෙමි. එහිදී එස්. සෙල්වතුරෙයි යුද්ධයෙන් පසුව දුම්රිය ස්ථානයට පැමිණ නැවත පදිංචිව ගෙවන ජීවිකාව පිළිබඳව කියා සිටියේ මෙවැන්නකි.
”83 ජුලි කලබලවලින් පස්සේ වරින් වර තමයි කෝච්චියක් ගමන් කරනවා දැක්කේ ඒ කාලේ මම මේ කිලිනොච්චි ස්ටේෂන් එක ළඟ හොඳ හෝටලයක් දාගෙන හිටියේ කෝච්චිය එන යන හින්දා මට ඉස්සර හොඳට සරුයි. මගේ පවුලම නඩත්තු උනේ ඒ හෝටලයෙන්. එල්.ටී.ටී.ඊ. එකෙන් කෝච්චියට බෝම්බ ගැහුවත් එක්කම කෝච්චි යන එන එක නැවතුනාට පස්සේ මගේ ජීවිතේ හරි අමාරු වුණා. ඔය ගමේ කෙනෙක් හෝටලයට ඇවිත් කනවා බොනවා විතරයි ඒකත් එල්.ටී.ටී.ඊ. එකේ කවුරු හරිනම් සල්ලි දුන්නැහැ. හරිම අමාරුවෙන් තමයි ජීවිතේ ගැට ගහ ගත්තේ යුද්දේ වැඩිවෙනකොට අපි ඔක්කම මුලතිව්වලට ගියා. පස්සේ යුද්දේ ඉවර වුණාට පස්සේ වවුනියාවේ අනාථ කඳවුරුවල ඉඳලා ආයෙත් සුපුරුදු පරිදි මෙතෙන්ටම ආවා. ඒත් සල්ලි තමයි ප‍්‍රශ්නෙ මගේ හෝටලේ තිබුණු තැනක්වත් නැහැ. කෝච්චිය අයෙත් එනවා කියල ඇහුවහම දැක්කහම මට සතුට කියාගන්න බැහැ. මෙහෙම පොඩියට හරි හෝටලේ කරලා පස්සේ සරු වුණාම ලොකුවට හදාගන්න තමයි හිතන් ඉන්නේ. එදා ඉඳන් මගේ හෝටලේ මෙතන තිබුණනම් මම අද කොයි තරම් ධනවතෙක්ද? එල්.ටී.ටී.ඊ. එක කරපු දේවල් නිසා අද මේ වගේ කී දෙනෙක් විඳිනවද? යුද්දේ ඉවරවෙච්ච එකම අපිට ඇති දැන් අපේ ළමයින්ටවත් මේවගෙන් හොඳ අනාගතයක් තියෙයි. මගේ පුතාගේ පුතා අද කෝච්චිය දැක්කා. එයා තාමත් අඬනවා කෝච්චියෙ යන්න ඕන කියලා. ඉතින් මම 14 වෙනකම් බලන් ඉන්නේ කෝච්චියේ යන්න. පොඩි ළමයි විතරක් නෙමෙයි ඇත්තටම මේ පැත්තේ ලොකු අයත් පුදුම ආශාවකින් ඉන්නේ කෝච්චියේ යන්න.” ඔහු කීවේය.
කෙසේ වෙතත් උතුරු දුම්රිය මාර්ගය යාපනයටම සාදා නිම කොට දුම්රිය ගමනාගමනය සිදුවනවාට අකමැති පිරිසකුත් සිටිති. ඒ පෞද්ගලික බස්රථ හිමියන් මෙන්ම මගීහු පිරිසකි. දුම්රිය ගමනාගමනය සිදුවූ විට මෙතෙක් කල් බස් රථවලින් ගමන් ගත් 80%ක්ම පාහේ දුම්රියට හුරුවෙයි. එමෙන්ම යාපනයට දුම්රිය ගමන් කරනවාට වවුනියාව, අනුරාධපුර ආදි ප‍්‍රදේශවල මගීහු නම් මෙවැනි දෑද පවසති.
”අපෝ කෝච්චිය යාපනයට යනව එනවා කියන්නේ අපිට ආයේ ඉතින් කොච්චියේ සීට් එකක ඉඳන් ගිහින් ඉවරයි. කෝච්චිය කිලිනොච්චියට එනකොටම සීට් ඉවරවෙයි. කොළඹින් එනකොටත් යාපනයට කිලිනොච්චියට යනකම්ම සීට් නැති වෙයි. පුදුම සෙනඟක්නේ ඒ පැතිවල ඉන්නේ.” යනුවෙනි.
වසර 30ක්ම ප‍්‍රභාකරන්ගේ විවිධ වූ බෝම්බ ශබ්ද වලින් රැව් දුන් කිලිනොච්චිය 14 වැනිදා සිට යකඩයකාගෙ ශබ්දයෙන් රැව් දෙනු ඇත. රජයද දැවැන්ත සංවර්ධන පියවරක් ඉදිරියට තබයි. උතුරු පළාත් සභා මැතිවරණයද මේ මස 21 වැනිදාය. මේ සියල්ලක්ම එකිනෙකට බැඳී පවතියි. එය කුමක් වුවත් නැවතත් කිලිනොච්චියට දුම්රියක් ගමන් කිරීම අගය කළ යුතුය. එමෙන්ම යාපනය කංකසන්තුරය දක්වාම නුදුරේදීම දුම්රියක් ගමන් කිරීම සිදු වෙයි.
සටහන හා ඡායාරූප: වන්නි රොමේෂ් මධුෂංඛ
|
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාල්දෙවි දුම්රියට බෝම්බ තැබීම නිසා අතරමංවූ දුම්රිය කොටස් යාපනය කංකසන්තුරෙයි දුම්රිය ස්ථානයේ ගාල් කොට ඇති අයුරු |
|
කිලිනොච්චිය දුම්රිය ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අයුරු |
|
කිලිනොච්චි දුම්රිය ස්ථානයට පැමිණි පරීක්‍ෂණ දුම්රිය |
|
ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා දුම්රිය ගමන් කරන අයුරු |
|
පරීක්‍ෂණ දුම්රිය කිලිනොච්චිය දුම්රිය ස්ථානයට පැමිණි පසු කිලිනොච්චියේ පාසල් ළමුන් එය නැරඹීම සඳහා පැමිණි අයුරු |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි. හරිම ආඩම්බරයි. (ස)
තිසර ජයා මුල්වුණ රස කවි මඩුව... අනිකුත් කවිරසින් සැනසුනි නැත අඩුව... යාල්දේවි යනකොට මම ගෙන කඩුව.... රජ නැටුමක් නටමි ගොස් පේදුරුතුඩුව.... (නි)
දුම්රිය මග සිරිය රට තුල පැවතේවා... යාල්දේවි අදමෙන් හෙට රැකදේවා.. ඔබ සැම සිතු පැතුම් එලෙසම සිදුවේවා.. සැමටම සුබ ගමන් සැමදා ගෙනදේවා... (නි)
මේවා නවනීදන් පිල්ලෙට පෙන්නුවාද? අනිත් අය වෙන පින්තූර පෙන්නලා ඇති. (නි)
ලංකාදීප, මේ ඉතා හොඳ කවි රැසකි. ඉරිදා පත්‍රයක පළ කරන්න, හැකිනම් (නි)
යාල් දේවියෙන් නැවතත් එන්න සරෝජා.. අපිත් එනවා ඔබේ දිහා සාමයේ සතුට සමරන්න.. එක් වෙමු අපි සැමදා.. නැවතත් යාල් දෙවි සැරිසරයි සිරි මවු වටා... (නි)
අපිට නැවතත් සරෝජා මුණගැහෙන්න පුළුවන් (නි)
සතුටුයි. සාමය සමගිය ජයට මුලයි (නි)
ජාතික සමගිය අප පතුරනවා වෛර ක්‍රෝධ මෝහය දුරලනවා හෙට දින නව හිරු එළියේ උදාවෙන් ලංකා දීපය ලොව බබලනවා (දී)
දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා මේවා ආරක්ෂා කරගන්න. අයෙමත් විනාශ වෙන්න දෙන්න එපා.(නදී)
යාපනයේ යන්න කෝච්චියෙන්, මම සිහින මවමින් සිටි ඒ කාලය දැන් ඇවිල්ලා. එන්න සරෝජා, අපි යමු යාපනේට තල් පැදුරක් අරන් එන්න. (නි)
ජාතික සමගිය වැඩි වන අතර වෛරය දුරු වී සැම කෙනෙකුටම සතුටින් ජිවත් වෙන්න ලැබේවා. (නි)
මෙය ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.මේ පිළිබදව රජයට ස්තුතිවන්ත වෙනවා. (නි)
ජනාධිපතිතුමා උතුරට ඔච්චර වැඩ කරලත් උතුරේ වැසියන් කෙලෙහි ගුණ දැක්වුයේ නැත්තේ ඇයි ? කනගාටුවක් ඇති වෙනවා උතුරේ ඡන්දය ගැන, උතුරේ දේසපාලකයෝ ඉදිරියේදී හොරකම් කරනකොට තේරෙයි දකුණෙන් පාලනය කරා නම් හොඳයි කියලා. (ස)
මේ පිලිබඳව රජයට ස්තුතිවන්ත වෙනවා ... (ස)
රට රකින්න උතුරට ගිය වීර පුතුන් මම වැන්දා.... වැගිරූ ලේ දහදිය බිදු පසේ සොදුරු බව රැක්කා... අබිමානයේ කිරුල දරපු යාල් රැජින මම දැක්කා... ජාතියේ සමගිය රකින්න හෙළයන් මවුබිම රැක්කා..... (2) ජාතික සමගිය දැකලා විරිදු සුරල් පද ගලනවා ....... උතුරේ සරු බිම දැකලා බින්න බහින්නට හිතෙනවා ....... යාල් දේවී දුම්රියේ මම තන්ගච්චිව අරන් එනවා ..... මගුල් දාට මසලවඩේ නැන්දම්මට මම යවනව (නි)
හොද වැඩක් ඈත දකුණේ අපිට කුඩම්මාගේ සැලකිලි. ඩලස් මහත්තයෝ ඔයාට අඩුම ගානේ කෙකනදුරට වත් කෝච්චිය එවාගන්න බැරවුනා නේද? (නදී)
ජාත්‍යන්තරයට පෙන්වන්නත් එපැයි.(නදී)
මෙයට අපි නය ගැති වෙන්ට ඕනේ කාටද? යුද්දය ජය ගත්තේ කව්ද කියලා කවදාවත් අමතක කරන්න එපා.. (නදී)
තිසර රනා ඔබ පමණක් නොවී අද , අපි ඔක්කොමත් කොපමණ සැනසෙනවාද , බැරි බැරි ගානේ ලිවුවත් කවි ගොතා බෙඳ, යාල්දේවියෙන් රවූමක් හෙට යමුද.(අ)
පුද්ගලික බස්කාරයෝ නම් එයාලා ගැන විතරක් හිතන අය ටිකක්. (නි)
අර කිවුවා වගේ අනුරාධපුරේ අය දුම්රියේ ගිහින් ඉවරයි. (නි)
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට නෑ ගම් යන්නට දවස ඇවිල්ලා කාලයකට පස්සේ.(නදී)
උතුරෙ අයගෙ දුක සැප ගැන කොටින්ට නැත රුදා.. රේල් පීලි යඩද යොදා බංකර් හැදු එදා.. මහ මග සහ රේල් පාර දියුණුවටයි මෙදා.. මේ වගේ වැඩ මුළු රටේම කොයි කාටත් හොඳා.(නදී)
තිස් වසරක් පුරා මහ වෙඩි හඬට බියේ ඇස් ඇර නොබැලුවත් ලෙන්ගතු ගතිය තියේ පෙම්බර යාල් දේවිය නම් යකඩ ලියේ... සුන්දර හැඟුම් දෙපසට ගෙනියන්න ප්‍රියේ... (නි)
නොයෙක් වරක් මා තනිවූ පරිසරය.. නීල් රණා ඔබ දෙනවා මට සවිය.. ලංකාදීප වෙබ් අඩවියෙ ඇති බලය.. ඔසවා තබයි අපි ලියනා හෙළ කවිය (දී)
කොච්චර කළත් සමහරුන්ගේ හිත ටී.එන්.ඒ. එකටම තමයි (නි)
උතුරෙන් එන දුම්රියේ කෞලුව ලඟට වෙලා , නොරවන් මට දේවි ,,, නැත මම ..කිසි වරදක් කරලා (අ)
කොළඹ සිට එකම අසුනක යමුද යාපනේ? (නි)
අනේ වාසනාවන් (දී)
ජායි තිසර ලියනවා ලස්සනට ගොතා..... නීල් රණත් ළඟ ඇත්තෙයි හිතින් සිතා.... යාල්දේවී යනවා නම් උතුර පතා.... සුබ පතනවා එක හිතින්ම සැමට සිතා. (නි)
පාවී පාවී, යාවි යාවි, සෙනෙහෙ සිතින් යාල් දේවි... දුටු පමනින් සිත නිවේවි... පෙර ගිය මග මතක් වේවි.... (නි)
යාල්දේවි නැගු ශබ්දේ බල මහිම.. කවි කවිඳියන් අතරින් ආ දිරි ගැන්ම.. පවසන දෙයකි සක් සුද සේ සැබවින්ම.. මට දැනෙනවා අපි තනි වී නෑ තවම (අ)
යාල් දේවි ගැන ලියනා කවි පද අතර...... මුල්තැන ගන්නේ නිල් රනා සහ ජයි තිසර........ දකුණේ අපිට යන්නට ගමනක් දුර බැහැර ...... යාල් දේවි එක් කරනවා දකුණයි උතුර .....!!! (නි)
කවි කවිඳියන් අතරින් ආ රස පදට... මටත් සිතුනි යලි කවි පදයක් දෙන්ට... යාල් දේවී ආයිත් ඇවිදින් රටට... රැජිනක් වගේ මගේ සිරි ලංකා මවට.... (නි)
උතුර දකුණ කවූරුත් අපි එකට ඉමු... චංචල නොවී සොයුරන් ලෙස කල් ගෙවමු... යාල් දේවී ඔබ අප සමගයි සිතමු... සිරි ලංකාව අපගේ මව බව දනිමු... (නි)
නෑ නෑ ඉතින් ආයිත් වෙඩි හඬ එන්නේ, කා බී තුටින් ඉමු අපි සොයුරන් වන්නේ, සිරිලක් මවට අපි සැම විතරයි ඉන්නේ.ඒ මේ රටින් දෙන ලනු අපි නෑ කන්නේ... (නි)
නැ නැ ඉතින් කොටි ටික යලි ගොරවන්නේ,යාල් දේවියෙන් අපි යාපනේ යන්නේ,දුම්රියේ හඩින් මුළු උතුරත් රැව්දෙන්නේ,සාමය සතුට ලක්දිව පුර ඇති වන්නේ. (ස)