ලෝකයේ එක් දිනකට සිදුවන රියඅනතුරු ගණන තුන්දහසකට අධිකය. ඉන් මියයන ගණනද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. අපේ රටේ රියඅනතුරුවල තත්ත්වය ද එසේමය. දිනෙන් දින ඒ ප‍්‍රවණතාව වැඩිවෙමින් තිබේ.
පොලිසියේ වාර්තාවලට අනුව අපේ රටේ වැඩිම රියඅනතුරු ප‍්‍රමාණය සිදුවූ දශකය ලෙස වාර්තාවන්ගේ 2005 වසරේ සිට 2014 දක්වා වූ වසර දහයක කාලයයි. එම කාලය තුළ මෙරට සිදුවූ රියඅනතුරු ගණන තුන්ලක්‍ෂ අසූදහස් දාහතරකි. (380014) ඉන් මාරක අනතුරු ගණන 22359 කි. බරපතළ අනතුරු ගණන 56387 කි. සුළු අනතුරු ගණන 127466 කි. අලාභ ගණන 173807 කි. මියගිය සංඛ්‍යාව 24216 කි.
පසුගිය වසර දහයක කාලය තුළ රියඅනතුරුවලින් පමණක් විසිපන් දහසකට ආසන්න මිනිසුන් ගණනක් අපේ රටේ මියගියාය යන්න ඇඟ ලොමුදැහැගැන්වෙන භයංකාර පණිවිඩයකි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාව වූ 2721 දෙනෙකු මරණයට පත්ව ඇත්තේ 2010 වර්ෂයේ දී වන අතර එම වර්ෂයේ දී සිදුවූ මාරක රියඅනතුරු ගණන 2483 කි. ගතවූ අවසන් වර්ෂය වූ 2014 වසරේ දී සිදුවූ රියඅනතුරු මරණ ගණන 2432 ක් වන අතර මාරක අනතුරු ගණන 2259 කි.
පෑලියගොඩ පිහිටි කොළඹ උතුර දිස්ත‍්‍රික් රථවාහන ඒකකයට අනුව මෙරට වැඩිම රියඅනතුරු සංඛ්‍යාවක් සිදුවන දිස්ත‍්‍රික්කය වන්නේ ගම්පහයි. බස්නාහිර පළාතට අයත් පොලිස් අධිකාරී කොට්ඨාස අටකි. ගල්කිස්ස, කොළඹ, නුගේගොඩ යන තුන කොළඹ දිස්ත‍්‍රික්කයට ද, පානදුර හා කළුතර යන පොලිස් කොට්ඨාස දෙක කළුතර දිස්ත‍්‍රික්කයට ද, මීගමුව, ගම්පහ හා කැලණිය ගම්පහ දිස්ත‍්‍රික්කයට ද අයත්ය. 2013 හා 2014 වසර දෙකේ දී මෙරට සිදුවූ මාරක රියඅනතුරු සංඛ්‍යාව වන 4432 න් 1322 ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය.
එම වසර දෙක තුළ මෙරට රියඅනතුරුවලින් මියගිය මුළු සංඛ්‍යාව වූ 4787 න් 1389 ක්ම මිය
ගොස් ඇත්තේ බස්නාහිර පළාත තුළ සිදුවූ මාරක රියඅනතුරුවලිනි. ඒ අතුරින් ද ඉහත වසර දෙක තුළ මියගිය 772 ක්ම වාර්තාවන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙනි. එසේම මෙරට වැඩිම රියඅනතුරු ගණනක් සිදුවන ප‍්‍රදේශය බවට වාර්තා වෙන්නේ කොළඹxනුවර පාරේ යක්කල සිට වරකාපොළ දක්වාවූ කොටසයි.
රියඅනතුරු බහුලවීමට හේතු ලෙස පොලිසිය ප‍්‍රකාශ කරන්නේ රියපදවන්නන්ගේ නොසැලකිලිමත්කම, බීමත්ව රිය පැදවීම සහ මාර්ග සංඥා පිළිබඳ අවධානය යොමු නොකිරීමයි.
මීට අමතරව පදිකයින්ගේ නොසැලකිල්ල, ධාවනයට නුසුදුසු වාහන ධාවනයේ යෙදවීම, ජංගම දුරකථන භාවිත කරමින් රියපැදවීම, අධික වේගයෙන් රියපැදවීම ද රියඅනතුරු වැඩිකිරීමට හේතුවී තිබේ. මීට අමතරව මාර්ගවල පවතින දුබලකම් ද රියඅනතුරුවලට හේතුවෙයි.
අපේ රටේ වැඩිම පිරිසක් මරණයට පත්වන්නේ ත‍්‍රිරෝද රථවල සහ යතුරුපැදිවල ගමන්කරන්නන්ය. පාපැදිකරුවන් ද බහුතරයක් අනතුරුවලින් මියයති.
මාර්ගයේ ගමන් කිරීමේ දී වඩාත් ආරක්‍ෂිතව ගමන් කළ යුතු මෙම අනාරක්‍ෂිත වාහන, මාර්ග නීති වැඩියෙන්ම කඩන වාහන බවට පත්ව ඇති නිසා එම මරණ ගණන වැඩිවී ඇතැයි ද පොලිසියේ අදහසයි. ත‍්‍රිරෝද රථවල මෙන්ම යතුරුපැදිවල ද පමණ ඉක්මවා මගීන් ගෙනයාම මෙම අනතුරු වැඩිවීමට හේතුවක් බවද පොලිසිය කියයි. විශේෂයෙන්ම යතුරුපැදි පදින කාන්තාවන් ගණන දිනෙන් දිනම වැඩි වුවද මාර්ග සංඥා සහ මාර්ග නීති පිළිබඳව ඔවුන්ගේ දැනුම ඉතා අල්ප බවද පොලිසිය කියයි.
පසුගිය වසර 10 තුළ අපේ රටේ රියඅනතුරුවලින් මියගිය පිරිස සලකා බැලූ විට එක් මාසයක දී පුද්ගලයින් දෙසීයකට වැඩි පිරිසක් මරණයට පත්වේ. ඒ අනුව සාමාන්‍යයෙන් අපේ රටේ සෑම දිනකම 7 දෙනෙක් පමණ රියඅනතුරුවලින් මියයති. මේ සංඛ්‍යාව සමාන කළ හැක්කේ තිස්වසරක් තිස්සේ අපේ රටේ පැවැති යුද්ධයේ දී මියගිය සංඛ්‍යාවට පමණි.
දිනෙන් දින අපේ රටට ආනයනය කරනු ලබන වාහන ප‍්‍රමාණය ද වැඩිවීමත් සමග රියඅනතුරු තවත් වැඩිවීමට බොහෝ සේ ඉඩකඩ තිබේ. වාහන වැඩිවන තරමට පුළුල් නොවන අපගේ මාර්ග පද්ධතියත්, දිනෙන් දින පිරිහෙන අපේ සමාජයේ සාරධර්ම පද්ධතියත් නිසා ඉදිරියේ දී රථවාහන අනතුරු බොහෝ සේ වර්ධනය විය හැකිය.
අ
ප ඉහතින් සඳහන් කළ වසර 10 තුළ මියගිය 24216 දෙනාට අමතරව සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ පිරිස ද ලක්‍ෂ ගණනකි. ඒ නිසා මෙම ප‍්‍රවණතාව මුළුමහත් රටටම බලපාන සාධකයක් බවද කිව යුතුය.
රථවාහන වැරදි සඳහා නීති මගින් මෙල්ල කිරීම මෙන්ම ජනතාවගේ හා රියදුරන්ගේ ආකල්පමය වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය බවද අද වන විට පෙනීගොස් තිබේ. ඒ සඳහා පාසලේ සිසුවාගේ පටන් දැනුම්වත් කිරීම සිදුකළ යුතු බවද ලියා තැබිය යුතුය.
රථවාහන වැරදි මගින් රියදුරන්ගෙන් අයකර ගන්නා දඩ මුදල මෙන් නොව ඒ මගින් සිදුවන අලාභය හා තුවාල ලත් පුද්ගලයන් හට ඉටුකළ යුතු සෞඛ්‍ය පහසුකම්වල වියදම දෙස බලන විට රජයට ඒ සඳහා අතිවිශාල මුදලක් වාර්ෂිකව වැයවේ.
අධිවේගී මාර්ග, කාපට් කරන ලද මාර්ග කොතෙකුත් ඉදිකළත්, රථවාහන අනතුරු අවමකර ගැනීමට වැඩපිළිවෙළක් සකසන තුරු මාර්ග සංවර්ධනයේ නියම ඵල නෙළා ගැනීම උගහටය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් කාපට් කරලා වැඩක් නැහැ වටේට තියෙන ආරක්ෂක ඉඩ ( කොලර් එක ) නැති කරලා. දැන් තියෙන පාරවල් ගොඩක්ම වාහනයක් හදිස්සියකටවත් අයින් කරන්න බැහැ අයිනේ බෑවුම් ඉතිරි වෙලා. කෝටි ගණන් සල්ලි වියදම් කලත් පාරවල් බාගෙට ඉවර කරලා තියෙන්නේ. පාර දෙපැත්ත පුරවලා පැතලි කරලා නැහැ අනතුරු වැඩි ඒකයි (නදී)
වාසනාවන් ත්‍රී වීල් සහ මෝටර් බයිසිකල් තව ගෙන්වන්න. මාර්ග නීති නොදන්නා අයට 7000 ක් ගෙවලා ලයිසන් ගන්න පුලුවන් (නදී)
සරත් ඔයාගේ වහනය මෝටර් බයික් එකක්ද ? (නදී)
ලාංකිකයන්ගේ ඔලුවේ තියෙන දේ තමයි හේතුව. වහනය අභාරණයක් කරගන්නවා. ත්‍රී වීල් මල්ලිලා වගේම ලොකු කාර් වල යන යටත් ඔය හීන මානේ තියෙනවා. (අ)
වසරකට 2500 වඩා මරණ? මඟමරුවා-ඩෙංගු මරුවාට වඩා බියකරුයි (නි)
වේගය මනින කැමරා අවශ්‍ය ස්ථාන වල සවිකරන්න (නි)
වන් වේ පාරවල් හදන්න ඕනෑ. පදික මාරු පාරට උඩින් හෝ යටින් හදන්න ඕනෑ. (නි)
හොද හිතක් ඇති නම් , එම අනතුරු අඩු කරණන පුලුවන් , නමුත් හැමෝම එක වග නැති නිසා , අනතුරු වලක් විම නොහැකි (ම)
එක එක වේගයන් සඳහා ධාවන පථ කිහිපයක් ඇති මාර්ග සැදිය යුතුයි. එවැනි මාර්ග එකක්වත් ලංකාවට නැත. විශාල නීති ප්‍රමාණයක් අනුගමනය කරමින් මාර්ගයක ගමන්කිරීම ඉතා අමාරු කාර්යයකි. මෙවැනි මාර්ග පද්ධතියක නිවැරදිව ගමන් කරන්නේ රියදුරන්ගේ දක්ෂකම සහ පොලිසියේ දක්ෂකම නිසාය (නි)
ආකල්පමය වෙනසක් කිරීම කාලෝචිතයි... අපේ රටේ හදන්න තැන් අපමණයි (ත)
ආකල්ප වෙනසක් ගැන කිසිකෙනෙක් කතාකරන්නේ නැත. මේවා දැකලවත් හැදෙන්න. (ර) .