IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


සුසෙයිගේ පුතා මැරුණේ බෝට්ටුවේ සුක්කානම වැරදි පැත්තට කරකවලා

කොටි සංවිධානයේ නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට අතිශය විශ්වාසවන්තම නායකයන් තිදෙනකු සිටියේය. ඒ තිදෙනා ප‍්‍රභාකරන්ගේ විශ්වාසවන්තම නායකයන් පමණක් නොව ගජ මිතුරෝ ද වූහ. කොටි පොලිස්පති කේ. නඬේෂන් එක් අයෙකි. අනෙකා කොටි බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන්ය. තුන්වැන්නා වූයේ තිල්ලෙයිම්පලම් ශිවනේෂන් හෙවත් සුසෙයිය. මොහු මුහුදු කොටි බළකායේ නායකයා විය. තිල්ලෙයිම්පලම් ශිවනේෂන්, සුසෙයි බවට පත්වූයේ 1984 වසරේ දී කොටි සංවිධානයට බැඳීමෙන් පසුවය. සුසෙයි උපත ලබා ඇත්තේ වඩමාරච්චි පොළුක්කන්ඩි නමැති ධීවර ගම්මානයේය. ඒ 1963 වසරේ ඔක්තෝබර් මාසයේ 16 වැනිදාය. සුසෙයිගේ පියා මුහුදු ගොස් මාළු අල්ලා ජීවිකාව ගෙනගිය අයෙකි. බහ තෝරන වියේ සිට මුහුදු වෙරළේ ගත කළ සුසෙයි ගැටවර වියේදීම මුහුදු යාමට පුරුදුව ඇත. ඒ සිය පියා සමගය. අවුරුදු පහේ හයේ පමණ වයසේ පසුවෙද්දිම සුසෙයි දක්ෂ පිහිණුම් ශූරයකු වී සිට ඇතැයිද කියති. මුහුද ගැන කුඩා කාලයේ සිටම මනා අවබෝධයක් ලබා තිබීම නිසා මුහුදු කොටි බළකායක් පිහිටුවා එහි නායකයා ලෙස සුසෙයි පත්කරගනු ලැබුවේ ප‍්‍රභාකරන් විසිනි. ඉන්දියානු සාම සාධක හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ උරහිසට වෙඩි උණ්ඩයක් වැදී තුවාල ලබා ඇත. ඒ 1987 වසරේදීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය රට පාලනය කළ කාලයේ එනම් 2004 වසරේ දී ඇයගෙන් ලබාගත් විශේෂ අවසරයක් මත සුසෙයි සිංගප්පූරුවේ රෝහලක ගොස් ශල්‍යකර්මයකින් උරහිසට ඇතුළට කාවැදී තිබූ උණ්ඩය ඉවත් කරගෙන ඇත. 14 ක පමණ කාලයකට පසුවය. කොටි සංවිධානයේ මුදල් අංශය මගින් සුසෙයිට හා ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මාසයකට රුපියල් ලක්ෂ 3 ක් ලබාදුන් අතර ප‍්‍රභාකරන්ගේ නියෝගයක් අනුව පොට්ටු අම්මාන් සහ නඬේෂන්ගේ පවුල්වල නඩත්තුව සඳහා ද මාස්පතා ලක්ෂ 3 බැගින් ගෙවා ඇති බව බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. සුසෙයිගේ ප‍්‍රයෝජනය සඳහා පමණක් පැජරෝ රථ තුනක් කැබ්රථ 3 ක් ලබාදී තිබිණි යැයි කියති. බුද්ධි අංශ හෙළිකරගෙන ඇති අන්දමට සුසෙයි ගේ ආරක්ෂාවට ආරක්ෂකයින් 50 දෙනකු පමණ සිට ඇති අතර ඒ අතර මුහුදු කොටි සාමාජිකාවක් ද සිට ඇත. හමුදාව සමග ඇතිවූ ගැටුමක දී කොටි සංවිධානයේ මියගිය මුල්ම සාමාජිකයා ලෙස සැලකෙන යෙල්ලක්කිලි සුසෙයිගේ සහෝදරයෙකි. ඔහු වෙඩිකා මිය ගියේ 83 වසරේදීය. සුසෙයිගේ බිරිඳ වන්නේ සත්‍යාදේවිය. දරුවන් තිදෙනකුගේ පියකු වන සුසෙයිගේ එක්පුතෙක් වන ශංකර් වයස අවුරුදු පහේදී පමණ මුහුදේ දී සිදුවූ හදිසි අනතුරකින් මියගියේය. සිංනේෂන් මණි අරසු (19) දියණිය වන අතර පුතා ශිවනේෂන් සින්දු හෙවත් සුරේෂ්ය. ඔහුගේ වයස අවුරුදු 18 කි. මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිට කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත‍්‍රික්කවල සුඛෝපභෝගී නිවාස 10 ක් පමණ තිබී ඇත. ඒවා ඉතා ආරක්ෂිත ඒවා විය. මොහු බිරිඳ සහ දරුවන් සමග වරින්වර මේවායේ ජීවත්වී තිබේ. මේ සෑම නිවසක්ම බලාකියා ගැනීමට සේවක සේවිකාවන් ද ආරක්ෂාවට විශේෂ පුහුණුවීම් ලැබූ කොටි සාමාජිකයින් ද යොදවනු ලැබ සිට ඇත. මුලතිව් වෙල්ලමුල්ලි වෛයික්කාල් යුද මුක්ත කලාපයේ සිට අධිවේගී බෝට්ටුවක නැගී පලා යමින් සිටියදී මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ දියණිය සහ පුතා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදා වේග ප‍්‍රහාරක යාත‍්‍රාවල සිටි භට කණ්ඩායම් විසිනි. මේ තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ 2009 මැයි මස 15 වැනිදාය. සුසෙයිගේ සහෝදරයාගේ බිරිඳ සහ ඇයගේ පුතෙකුද මෙම බෝට්ටුවේ සිට අල්ලාගනු ලැබූහ. සුසෙයිගේ බිරිඳ සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් රත්තරන් කිලෝ 2 1/2 ක්ද නාවික හමුදාව සොයාගෙන තිබිණි. වෙල්ලමුල්ලි වෛයික්කාල් යුද මුක්ත කලාපයේ සිට වේගයෙන් පලා යමින් සිටි අධිවේගී බෝට්ටුවක් නිරීක්ෂණය කළ නාවික හමුදාවේ වේග ප‍්‍රහාරක යාත‍්‍රාවල සිටි නැවියන් එය ලූහු බැඳ ගොස් අල්ලාගත් අතර එම යාත‍්‍රාවේ සාමාන්‍ය වැසියන් 11 දෙනෙකු සිට ඇත. පලා යන කොටි ත‍්‍රස්තවාදීන් අල්ලාගත් විට ඔවුන් හඳුනා ගැනීම සඳහා යොදවා සිටි ඔත්තුකරුවන් (බිල්ලන්) වෙත මේ 11 දෙනා නාවික හමුදා නිලධාරීන් ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් අතර කොටි ත‍්‍රස්තයන් සිටිදැයි යන්න සොයා බැලීම සඳහාය. නාවික හමුදාව විසින් යොදවනු ලැබ සිටි බිල්ලන් විසින් ඒ සාමාන්‍ය වැසියන් 11 දෙනා අතරේ සිටි සුසෙයිගේ බිරිඳ, දරු දෙදෙනාද ඔහුගේ සහෝදරිය සහ ඇයගේ පුතාද හඳුනාගත් අතර පසුව ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී ඔවුන් ද ඒ බව පිලිගෙන තිබේ. මෙම පිරිස ඉන්දියාවට පලා යමින් සිටිය දී නාවික හමුදාවට කොටුවී ඇත. බිරිඳ සත්‍යාදේවි සුසෙයිටත් සටන් අතහැර දිවිබේරා ගෙන පැමිණෙන ලෙස ඇවිටිලිකර ඇතත් ඔහු පවසා ඇතැයි කියන්නේ ප‍්‍රභාකරන් සමග තමාද කෙසේ හෝ ඉන්දියාවට පලා එන නිසා ඔවුනට කල්තියා ඉන්දියාවට පලා යන ලෙසය. සත්‍යාදේවි නාවික හමුදාව අල්ලාගත් මොහොතේ කියා සිටියේ සුසෙයි තවමත් ජීවතුන් අතර සිටින බවය. එ පමණක් නොව ප‍්‍රභාකරන් ද ඔහුත් සමග සිටින බවය. නන්දිකඩාල් කළපුවේ කඩොලාන කැලෑවේ ප‍්‍රභාකරන් ද සමග මිය ගිය ප‍්‍රධානපෙලේ කොටින් සිය ගණනක් අතර තිබි සුසෙයිගේ  මළ සිරුර සොයාගනු ලැබිණි. ඒ සුසෙයිගේ බිරිඳ ඇතුළු කණ්ඩායම නාවික හමුදාවට කොටුවී දින 4 ක පමණ කාලයකට පසුවය. පුදුකුඩිරිප්පු තොට්ටොවිල් ප‍්‍රදේශයේ තිබී මුහුදු කොටි නායකයාට අයත් සියලූ සැප පහසුකම්වලින් සමන්විත සුවිසල් නිවෙසක් සොයාගනු ලැබුවේ වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි භට කණ්ඩායම් විසිනි. දැන් මේ සුවිසල් නිවස දැකබලා ගැනීමට  ඕනෑම අයෙකුට අවස්ථාව සලසා දී තිබේ. මුහුදු කොටි නායකයාගේ මේ නිවස දැක බලා ගැනීමට ද දකුණේ ජනතාව වැලනොකැඞී එති. සති අන්ත දිනවල මෙය නැරඹීමට එන පිරිස්වලින් පිරී ඉතිරී යන බව එහි සිටි හමුදා නිලධාරීහු අප සමග පැවසූහ. හමුදා නිලධාරීන් පවසන ඒ කථාව සම්පූර්ණයෙන්ම ඇත්තකි. එයට කදිම සාධකයක් ද සුසෙයිගේ මාලිගාවට නුදුරින්ම දක්නට ඇත. කුඩා කඩ සැලකිය යුතු සංඛ්‍යාවක් එහි පිහිටා ඇති අතර ඒවායේ සිටි වෙළෙන්ඳන් කිහිපදෙනකු කීව්වේ බිස්නස් නම් හොඳ බවත් එදා වගේ කප්පම් ගෙවීමට අවශ්‍ය නොවන බවත්ය. ඔවුන් ඒ බව පැවසුවේ සිනහ සෙමිනි. ඒ වෙළෙන්ඳන් එවැනි කථාවක් පැවසුවේ එදා කඩසාප්පු වලින් පවා කොටින් කප්පම් ගැනීම් සිහිපත් කරමින්ය. අක්කර භාගයක් පමණ භූමි ප‍්‍රමාණයක සුසෙයිගේ සුවිසල් නිවෙස පිහිටා ඇත. අලංකාර ලෙස සකසා ඇති ගෙවත්තකි. වතුර මලක් සුවිසල් නිවෙස ඉදිරිපිට සවිකර ඇති අතර ගෙවත්තේ එක් කොනක උමගක් ඉදිකර ඇති අයුරු දක්නට තිබේ. ගුවන් ප‍්‍රහාරවලට පවා ඔරොත්තු දෙන ආකාරයට මෙම උමං මාර්ගය ඉදිකර ඇත. සුසෙයිගේ ආරක්ෂකයින්ට නවාතැන් ගැනීම සඳහා ඉදිකර ඇති කුඩා නිවසක් ද එහි ඇති අතර විශේෂ පුහුණුවක් ලබා කොටි එහි රැඳී සිට ඇති බව බුද්ධි අංශ කියයි. ගෙවත්තේ තැන් කිහිපයකම බලූ කොටු ඉදිකර තිබූ අතර ඒවායේ විදේශයන්හි සිට ගෙන්වන ලද සුනඛයින් රඳවා සිට ඇත්තේ සුසෙයිගේ ආරක්ෂාවටය. සුවිසල් නිවෙසේ දොර වල් තේක්ක හා බුරුත ලීයෙන් තනා ඇති අතර ප‍්‍රධාන දොර ඉතා අලංකාර ලෙස කැටයම් කර තිබේ. කාමර හයක් පමණ යුතු මෙම නිවෙසේ එක් කාමරයක බිත්ති කබඞ් එකක් සවිකර ඇත. ඒ බිත්ති කබඞ් එකට සවිකර ඇති දොරවල් දෙක විවෘතකළ විට එහි සිට පිටතට යා හැකි ලෙස සකසා ඇති ආරක්ෂිත උමං මාර්ගයක් ඉදිකර තිබේ. මුහුදු කොටි නායකයාගේ ඒ සුවිසල් නිවෙසේ මිනි බාර් එකක්ද ඇත. විදේශයන්හි සිට ගෙන්වන ලද ඉහළම වටිනාකමක් ඇති මත්පැන් බෝතල් එදා එහි තිබී හමුදාව සොයාගෙන ඇත. මෙවැනි ආකාරයේ ආරක්ෂිත නිවාස 10 ක් පමණ කිලිනොච්චියේ හා මුලතිව් යන දිස්ත‍්‍රික්කවල එදා සුසෙයිට තිබී ඇති බව බුද්ධි අංශ කියයි. මුහුදු කොටි නායකයා වරින්වර මේ වායේ වාසය කර ඇත්තේ සිය දරු පවුලත් සමග ඉහළම සැප සම්පත් විඳිමිනි. මුහුදු කොටි බළකායේ බුද්ධි අංශයේ නායකයාව සිට ඇත්තේ අශ්රොප් රූබන් හෙවත් ජෙයකුමාර්ය. සුසෙයිගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම ඔහුගේ ගමන් බිමන් ගැන සියලූ තොරතුරු දැන සිට ඇත්තේද ගමන් බිමන් යන මාර්ග තීරණය කරන්නේද, සාකච්ඡා පැවැත්විය යුතු ස්ථාන ගැන තීරණය කරන්නේද මොහු විසිනි. අශ්රොප් රූබන් හෙවත් ජෙයකුමාර් කියන්නේද ප‍්‍රභාකරන් ලඟින්ම සිටි කීපදෙනා අතරින් එක් අයෙකි. කෙලින්ම ප‍්‍රභාකරන් හමුවීමට විශේෂ වරප‍්‍රසාද ලබා සිටින අතලොස්සක් දෙනා අතර අශ්රොප් රූබන් ද සිට ඇත. කොටි සංවිධානයේ සහ රජයේ අත්අඩංගුවේ සිරකරුවන් හුවමාරුවක්  ඕමන්තේ දී මීට වසර ගණනාවකට ඉහත දී සිදුවූ අතර ආරක්ෂක අංශවල සාමාජිකයින් මුදා ගැනීම සඳහා ප‍්‍රභාකරන් ඉදිරිපත් කළ කොටි ලැයිස්තුවේ අශ්රොප් රූබන් ද සිටියේය. යුද සිරකරුවන් හුවමාරුව  ඕමන්තේ දී සිදුවූ අතර ඒ අවස්ථාව දිනපතා ලංකාදීපයට වාර්තා කිරීමට අප එහි ගිය අවස්ථාවේ අශ්රොප් රූබන්ව විවෘත රථයක නංවාගෙන කොටි පොලිස් භටයන් පෙරටු කරගත් යතුරු පැදිවලින් කිලිනොච්චියට කැඳවාගෙන ගිය අයුරු තවමත් මතකයේ රැඳී පවතී. කොම්බාවිල් ප‍්‍රදේශයේ පිහිටා තිබූ මුහුදු කොටි නායකයාගේ සුවිසල් නිවෙස බලා ගැනීම සඳහා සේවකයන් දෙදෙනකු යොදවා සිටි අතර එයින් එක් අයකු වන්නේ සෙල්ලයියා බාල ක‍්‍රිෂ්ණන්ය. 46 හැවිරිදි වියේ පමණ පසුවන ඔහු අදත් පදිංචිව සිටින්නේ මන්නාල්කන්ඩල් වසන්තපුරම් ගම්මානයේය. කලක් මාතලේ ගලේවෙල ඉබ්බන්කඩුව ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති සෙල්ලයියා දහ දෙනෙකුගෙන් යුතු පවුලේ 9 වැනියා විය. ඔහු පුදුකුඩිරිප්පුවලට පදිංචිය සඳහා පැමිණ ඇත්තේ 1977 වසරේදීය. පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයට පැමිණි සෙල්ලයියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරුවකු ලෙස සේවය කර ඇත්තේ දිනකට රුපියල් 60 ක පඩියකටය. ”මගේ බිරිඳ සුබ‍්‍රමනියම් සෙල්වි, අපට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. ලොකු දරුවා කොටි සංවිධානයට බාර දෙන්න කියලා ඉල්ලූවා. අපි බැහැයි කිව්වා. පස්සේ දවසක කොටි කණ්ඩායමක් ඇවිත් ගෙදර හිටපු අපි කට්ටියට ගහලා උන් මගේ ලොකු පුතා ගනේෂ්වරම් පැහැරගෙන ගියා. 2003 වසරේ දී මාස හයකට විතර පස්සේ ලොකු පුතා පැනලා ආවා. කොටි ලොකු පුතා හොයාගෙන ගෙදර ආවා. පුතා කොන්ඩම්ඩු කැලේ හැංගිලා හිටියේ. පුතා නැතිවට කමක් නැහැ ඒ වෙනුවට උඹ වරෙන් කියා මාව බලහත්කාරයෙන් උන් අරන් ගියා. යැයි සෙල්ලයියා පැවසුවේ දිගු කථාවකට මුල පුරමිනි. අපි බොහෝ වේලාවක් සෙල්ලයියා ගේ නිවෙසේ ඔහු සමග අල්ලාප සල්ලාපයේ නිරත වීමු. බලහත්කාරයෙන් පැහැරගෙන ගිය මාව බාර දුන්නේ ජෙය කුමාර් කියලා කොටි නායකයෙකුට. ඌගේ නියම නම අශ්රොප් රූබන් බවත් මුහුදු කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නායකයා බවත් පස්සේ කාලයක දී මම දැනගත්තා. පුදුකුඩිරිප්පු හංදියේ සිට විශ්වමඩු අතර ප‍්‍රදේශයේ ලොකු ගෙවල් 10 ක් හදන්න කොටි සංවිධානය වැඩ පටන් අරන් තිබුණා. මට ඒ ගෙවල් හදන්න ගෙනාපු බඩුමුට්ටු බලාගන්න කියලා යෙදෙව්වා. ඒ එක ගෙයක් හදන්න ලක්ෂ 75 ක් 80 ක් විතර වියදම් කළා. ඒ ගෙවල් සේරම හැදුවෙ කොටි සංවිධානයේ ලොකු ලොක්කන්ටයි උන්ගේ පවුල්වල අයටයි. මේ ගෙවල් හදන්න බලහත්කාරයෙන් මිනිස්සු යොදාගෙන තිබුණා. දවල් රෑ දෙකේ ඒ මිනිස්සුන්ගෙන් එක දිගට මරව මරවා වැඩ ගත්තා. ඒ ගෙවල් ටික හදලා ඉවර වුණායින් පස්සේ මුහුදු කොටි බුද්ධි අංශයේ නායකයා මාව කොම්බාවිල් පැත්තේ තියන ලොකු ගෙදරකට අරන් ගියා. උඹ මේ ගෙදර වත්ත පිටියේ වැඩ ටික බලාගෙන ඉඳපං කියලා කිව්වා. මාව ඒ ගෙදරට එක්කගෙන එන්න කලින් මාස ගාණකට පස්සේ ගෙදර ගිහින් එන්න අවසර දුන්නා. මගෙත් එක්ක ඒ ගෙදර වැඩට තවත් කෙනෙක් හිටියා. දැන් මට ඒ මිනිහාගේ නම මතක නැහැ. ගෙදර ආරක්ෂාවට සන්නද්ධ කොටි හිටියා. මොනම හේතුවකටවත් ගෙදරින් පිට යන්න තහනම්. මම හිතුවා මේ ගේ කොටි ලොක්කෙකුගේ වෙන්න  ඕනෑ කියලා. මම ඒ ගෙදර වැඩට ගිහින් දවස් තුන හතරකට විතර පස්සේ වාහන වලින් කට්ටියක් ගෙදරට ආවා. උස මහත අයෙක්ද ඒ කට්ටිය එක්ක හිටියා. එයා කොටි නායකයෙක් බව මට තේරුම් ගියා. එයාගේ ගෑනියි දරුවන් තුන් දෙනෙක් හිටියා. පොඩි එකාගේ වයස අවුරුදු පහක් විතර ඇති යැයි සෙල්ලයියා පැවසීය. කොටි නායකයා යැයි සිතූ කෙනා මගේ ළඟට ඇවිත් කිව්වා හොඳට ගෙදර වත්ත පිටිය බලාගනිං කියලා ප‍්‍රශ්නයක් තියනවා නම් ආයෙත් මම ආපු වෙලාවක කියන්න කියලාත් කිව්වා. පස්සේ කාලයක තමා මම දැනගත්තේ එදා මාත් එක්ක කතා කළ කෙනා මුහුදු කොටි නායක සුසෙයි කියලා. සුසෙයිගේ සේරම ගමන් බිමන් ගැන දන්නේ අශ්රොප් රූබන් විතරයි. ඒ මිනිහා ඇවිත් කියනවා තව ටිකකින් ලොක්කා එනවා කියලා. එහෙම කියලා පැයක්වත් යන්නේ නැහැ සුසෙයි ගෙදරට එනවා. සුසෙයිගේ බිරිඳ ලොකු ළමයි දෙන්නයි කා එක්කවත් වැඩිය කථා බහකරන්නේ නැහැ. පොඩි එකා මගෙත් එක්ක සෙල්ලම් කරන්න එනවා. හරිම හුරතල් කොටි පැටියා එතකොට ඒ ළමයාගේ වයස අවුරුදු පහක් විතර ඇති. ඒත් ඒ ළමයා වයසට වඩා හොඳ පෙනුමක් තිබුණා. සුසෙයිගේ බාල පුතා. ඒ ළමයාගේ නම ශංකර්. හරිම දඟකාර කොලූපැටියා. මුලතිව් නන්දිකඩාල් කලපුවේ දී 2007 ජූලි මාසයේ සිදුවු බෝට්ටු අනතුරකින් මිය ගියේ සුසෙයිගේ මේ බාල පුතාය. සුසෙයිගේ බාල පුතා නන්දිකඩාල් කලපුවේ සිදුවූ බෝට්ටු අනතුරකින් මියගිය පුවත පුවත්පත්වල ඒ කාලයේ පළවිය. මුහුදු කොටි නායකයාගේ බාලපුතා ශංකර් මියගිය ආකාරය මුල්වරට පුවත් පතකින් හෙලි දරව්වක් කරන්නේ අපි විය යුතුයැයි සිතමු. මුහුදු කොටි නායකයාගේ පුතා ශංකර් බෝට්ටු අනතුරකට පත්වූ ආකාරය හා ඉන්පසු සිදුවු සිදුවීම් මාලාව ගැන මතකය අවදිකරමින් සෙල්ලයියා කී කථාවයි මේ. මුහුදු කොටින්ගේ ප‍්‍රයෝජනයට පිටරටකින් බෝට්ටු වගයක් ගෙනත් තියෙනවා. ඒවා පරික්ෂා කර බලන්න සුසෙයි ගියා. ඒ යද්දි ශංකර් වත් එක්කගෙන ගිහින් තියෙනවා. සුසෙයි ශංකර්ව ඔඩොක්කුවේ තියාගෙන එක් බෝට්ටුවක් පදවාගෙන ගිහින් තියනවා. තවත් බෝට්ටු පහක් පදවාගෙන ගිහින් තියෙන්නේ වෙනත් මුහුදු කොටි පස් දෙනෙක්. නන්දිකඩාල් කලපුවේ මේ අය අධික වේගයෙන් බෝට්ටු පදවමින් ඒවායේ තත්ත්වය පරික්ෂා කරමින් සිට තිබෙනවා. සුසෙයිගේ ඔඩොක්කුවේ හිටපු ශංකර් එක්වරම බෝට්ටුවේ සුක්කානම එක පැත්තකට කරකවා තියෙනවා. අධික වේගයකින් ගමන් කරපු බෝට්ටුව එක්වරම අධික වේගයෙන් ගමන් කරපු තවත් බෝට්ටුවක ගැටිලා තියෙනවා. මේ බෝට්ටු අනතුරින් සුසෙයිගේ පුතා එතැනම මියගියා. සුසෙයිට බරපතල තුවාල සිදුවුණා. බෝට්ටු අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවුන සුසෙයි සති තුනක් විතර පුදුකුඩිරිප්පු රෝහලේ ප‍්‍රතිකාර ලබාගෙන බොහොම අමාරුවෙන් තමා ජීවිතය බේරා ගත්තේ. එය දින ගණනාවක් යනතෙක් සිහි තිබිලත් නැහැ. සතියකට විතර පස්සේ තමා දැනගෙන තියෙන්නේ පුතා බෝට්ටු අනතුරින් මිය ගියා කියලා. සුසෙයි මේ බව අහලා හරියට අඬලා තියනවා. බෝට්ටු පදින්න පොඩි එකාව අරන් යද්දී සත්‍යාදේවි කියලා තියෙනවා පුතාව ඔය ගමන එක්කගෙන යන්න එපා කියලා. ඒත් සුසෙයි බිරිඳගේ කීම අහන්නේ නැතිව තමා පොඩි එකා අරගෙන ගිහින් තියෙන්නේ. දැන්ම ඉඳන්ම මේවා පොඩි එකාට පුරුදු කරන එක හොඳයි කියලා සුසෙයි කියලා තියනවා කියලත් පස්සේ මම දැනගත්තා. කොම්බාවිල් සුසෙයිගේ ගෙදර ඉද්දි මටයි ගෙදර වැඩට හිටපු අනිත් සේවකයාටයි අශ්රොප් රූබන් ඇවිත් කිව්වා විග්නේෂ්වර ක‍්‍රීඩාපිටිය ළඟ හොඳට ශුද්ධ කරලා මිනී වළක් කපන්න කිව්වා. සුදුවැල්ල අතුරන්න කියලත් කිව්වා. කාව වල දමන්නද කියලා මුලින්ම දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමා සේරම විස්තරේ දැනගත්තේ. සුසෙයිගේ පුතාගේ අවමගුල් උත්සවය ලොකුවට ගත්තා. ප‍්‍රභාකරන් විතරයි අවසන් කටයුතු සිදුකෙරුණු තැනට ආවේ නැත්තේ. අනිත් සේරම කොටි නායක නායිකාවෝ ආවා. මෙම බෝට්ටු අනතුර හා බැඳුනු තවත් සිද්ධියක් ගැනද සෙල්ලයියා සිය මතකය අවදිකරමින් කියා සිටියේ මේ බෝට්ටු අනතුර කුමන්ත‍්‍රණයක් මත හිතාමතා සුසෙයි ඝාතනය කිරීමට කරන ලද්දක් බවට සැකකර අනෙක් බෝට්ටු පහ පැදවූ මුහුදු කොටි පස්දෙනාම අත්අංඩංගුවට ගත් බවය. ඒ කථාව ගැන තව දුරටත් තොරතුරු හෙලිකරමින් සෙල්ලයියා මෙසේද කීය. කාගේ වුවමනාවක් පිට සුසෙයි ඝාතනය කරන්න හැදුවාද කියමින් අල්ලාගත් ඒ කොටින්ට එදා දසවද දීලා ප‍්‍රශ්න කරලා තිබුණා. සති දෙකකට විතර පස්සේ සුසෙයි සුව වෙලා ගෙදර ආවා. ඇවිත් වෙච්ච ඇත්ත සිද්ධිය කිව්වා. ඊට පස්සේ තමා අර අල්ලා ගත්තු කොටි පස්දෙනා නිදහස් කරලා තියෙන්නේ. මේ සියලූ තොරතුරු මම දැනගත්තේ සුසෙයිගේ ගෙදරට යන එන කොටින්ගෙන්. කොට්විල් ගෙදර වගේ තවත් ගෙවල් 10 ක් විතර සුසෙයිට තිබුණා කියලත් මම දැනගෙන සිටියා. පුතා කොටින්ට නුදුන් වරදට මා වසර ගණනාවක් උන්ට බැල මෙහෙවර කළා. නොවිදිනා දුක් වින්ඳා අද නිදහසේ ජීවත්වෙනවා. හමුදාවේ මහත්වරු මට ගමන් බිමන් යන්න අලූත්ම බයිසිකලයක් දුන්නා. හැම මිනිහෙකුගේම දුකට සැපට හමුදාව පොලිසිය පිහිටවෙනවා. යැයිද සෙල්ලයියා අවසාන වශයෙන් කියා සිටියේ බොහොම සැහැල්ලූ සිතකිනි. කොටින් නැති මුලතිව් අඩවියේ සෙල්ලයියාට පමණක් නොව හැමදෙනාටම නිදහස ලැබී තිබේ. දශක තුනක් කොටි අඩවියක් ලෙස පැවති ප‍්‍රදේශ පුරා කඩිනමින් කැඳවාගෙන ගිය අපේ මාතලී වුයේ සුසන්තය. මුලතිව් සංචාරයේ දී අපට නන් අයුරින් උපකාර කරමින් මග පෙන්වූ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න, කොස්තාපල් සූරිය බණ්ඩාර (31901) සහ කොස්තාපල් බණ්ඩාර (71223) යන මහත්වරුන්ට ද ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය හිමිවේ.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය (මුලතිව් සංචාරයෙන් පසු) / ඡායාරූප - මාදම්පේ එස්. හේරත්
මුහුදු කොටි නායකයාව සිටි සුසෙයි සුසෙයිගේ නිවස බංකරයට ඇතුළුවන දොරටුව සුසෙයිගේ නිවසේ ආලින්දය සුසෙයිගේ නිවෙස බැලීමට එන පිරිස සඳහා අලූතෙන් ඉදිකර ඇති වෙළඳකුටි  



අදහස් (0)

සුසෙයිගේ පුතා මැරුණේ බෝට්ටුවේ සුක්කානම වැරදි පැත්තට කරකවලා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 638 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 256 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 616 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 280 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 202 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 170 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 73 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site