තුරු මුදුන් මතින් සඳඑළිය ගලයි. නිල් පැහැයෙන් නෙතට හසුවන දැවැන්ත බඳ සහිත වනස්පතින්ගෙන් ගහන වූ වන අරණට පෙම් නොකර සිටිය හැක්කේ අසිරිමත් සොබා දහම කෙරේ අල්පමාත‍්‍රයකවත් සෙනෙහෙවන්තකමක් නොදක්වන්නෙකුටම පමණි. සොබාදහම නම් අම්මාගේ කුස මඬලින් ජාතක වූ සොබා සම්පත් නම් අසිරිමත් දරුවන් රැසකගේ නිත්‍ය නවාතැන බවට පත්වූ ඉන්දියාවේ හිමාලය වන අරණ බවුන් වඩන යෝගීන්ට, ස්වාමිවරුන්ට සෘෂිවරුන්ට මහා කෙම්බිමකි.
|
|
|
යෝගී ආසන |
සැතපුම් සිය දහස් ගණනක් දුර ගෙවා අර්ජුන වික‍්‍රමාරච්චි ඒ කෙම්බිම සොයා ගියේය. සිතත් සිරුරත් එක්තැන් කළ තාරුණ්‍යයේ ජවය සමගින් අර්ජුන සොයා ගියේ ලෝකෝත්තර වූ අධ්‍යාත්මික සුවයකට මග කියන සැනසුමේ මාවතකි. ගමන කෙළවර නැතත් ආ දුරේ අනුහසින් ඔහු සන්තක කරගත් ඵල බොහෝ වෙත්.
යෝග ශාස්ත‍්‍රය හැදෑරීමේ අරමුණින් ඔහු හිමාලයේ වෙසෙන යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන යෝගාවචරයන් සෘෂිවරුන් සොයා ගියේය. හුදෙක් ශාරීරික ව්‍යායාමය හා සුවය පිණිසම නොව අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන එකී ශාස්ත‍්‍රයේ නිම් වළලූ පුළුල් කරගැනීමේ පරමාර්ථය අරභයා ඔහු ඒ දුෂ්කර ගමනේ යෙදුණේය. සැබැවින්ම යෝග ශාස්ත‍්‍රය හදාරන්නකුගේ අපේක්ෂාව විය යුත්තේද එකී ශාරීරික සුවතාව නොව ආධ්‍යාත්මිකව ලබාගන්නා ශක්තියයි. එකී අධ්‍යාත්මික දියුණුව පරමාර්ථ කොටගෙන යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරනවිට එකී අතුරු ඵලයක් ලෙස නිරායාසයෙන්ම කායික නිරෝගී බව සහ සුන්දරත්වය දායාද වෙයි.
කුඩා දරුවකුව සිටි සන්දියේ පටන් අර්ජුන භාවනාවට යොමුවිය. වයස අවුරුදු දහසය සම්පූර්ණ වන විට යෝග ශාස්ත‍්‍රය හැදෑරීමට ඔහු උත්සුක වූයේය. එහෙත් නිවැරදි අවබෝධයක් ලබාගැනීම උදෙසා යෝග ශාස්ත‍්‍රයට අදාළව කියැවිය යුතු පත පොත පවා එකල දුලබ විය. මග පෙන්වන ඇදුරන් සොයා යාමද ඒ තරමටම දුෂ්කර කාර්යයක් විය.
කොස්තා නැමැති ලේඛකයකු විසින් රචිත යෝග ශාස්ත‍්‍රය පිළිබඳව ලියැවුණු පොතක් ඔහුට හමුවුණේ මේ අතරතුරදීය. එහෙත් ඔහුගේ සිත ඉල්ලා සිටි දැනුමේ වපසරිය එකී ග‍්‍රන්ථයේ පිටු හෝ පරිච්ඡේද තුළම ලඝු කළ නොහැකි තරමට විසල් පරාසයක පිහිටියේය.
අත්නොහළ උත්සාහයෙන් අරමුණ හඹා ගිය අර්ජුනට දොළොස් වසරක් වනගතව බවුන් වඩා ගම්මානයක් කෙළවර කුඩා කුටියක වැඩ සිටි කුරුණෑගල රතනසාර හිමියන් හමුවූයේය.
”විනාඩි 45 ක්වත් එක ඉරියව්වක ඉන්න බැරි නම් සාර්ථකත්වයට පත්වෙන්නේ කොහොමද දරුවෝ” උන්වහන්සේගේ මේ වචන අර්ජුනගේ සිත් ගැඹුරටම කිඳා බැස්සේය. භාවනාමය ඉරියව්වක තත්ත්පර ගණනාවක් දැහැන්ගතවෙන්නට බැරි හේතුව අර්ජුන කල්පනා කළේය. යෝග ආසන තුළින් ශරීරය වේදනාවකින් තොරව නිශ්චලව තබා ගනිමින් මානසික ඒකාග‍්‍රතාවය ඇතිකර ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසෙන බව ඔහු තේරුම් ගත්තේය. නොනවත්වාම යෝග පුහුණුවේ යෙදෙන්නට කුරුණෑගල රතනසාර හිමියන්ගේ මගපෙන්වීම එදා අර්ජුනට මහත්සේ මහෝපකාරී විය.
ඉනික්බිති අර්ජුන හින්දු පූජකවරයකු යටතේ සූර්ය ශක්ති හා සූර්ය නමස්කාර ආසන පිළිබඳව හැදෑරුවේය. ශාන්ති දේව් නම් ඇදුරුකු යටතේ තවදුරටත් යෝග පුහුණුව ලද්දේය.
අර්ජුනගේ සිතට අවැසි වූයේ යෝග ශාස්ත‍්‍රය ඔස්සේ ලද හැකි අධ්‍යාත්මික පුනරුදයයි. එකී ප‍්‍රබෝධය සාක්ෂාත් කරගනු උදෙසා මෙකී ශාස්ත‍්‍රයේ පරතෙරටම යාමට ඔහු තුළ තිබූ වුවමනාව ඔහු විවිධ දිශාවන් ඔස්සේ මෙහෙය වූයේය.
සයුරක්සේ ගැඹුරක් ඇති විෂයක් ඇඟිලි තුඩු අගින් ස්පර්ශ කිරීම පසෙක තබා පිහිනමින් පතුල දැකීමේ වුවමනාව මත ඔහු යෝග ශාස්ත‍්‍රය පිළිබඳව ඉන්දියාවේ ලියැවුණු පොතපතද හැදෑරුවේය.
වනවැදී බවුන් වඩන තරුණයාට ගල්ලෙනෙක වැඩ සිටින තවත් භාවනානුයෝගී යතිවරයාණන් වහන්සේ නමක් හමුවූයේ මේ කාලයේදීය. යෝග ශාස්ත‍්‍රය ගැඹුරට ප‍්‍රගුණ කළ උත්තමයකුගේ හමුවීම සහන් එළියක් සේ ඔහුට මාවත පෙන්වාලූයේය. උන්වහන්සේ සමීපයෙහි බවුන් වඩන තරුණ සිතට යෝග ශාස්ත‍්‍රයේ ගැඹුර මැනවින් වැටහිණි.
යෝග ශාස්ත‍්‍රය තවදුරටත් හැදෑරීමට නම් ඔබ ඉන්දියාවට යන්න දරුවා. ආශිර්වාදාත්මක මග පෙන්වීම දුර ගමනක නිශ්චිත ඇරඹුම විය. ඉන්දියාවට ගිය අර්ජුන තමිල්නාඩු ප‍්‍රාන්තයට හැර ඉන්දියාවේ සෙසු සියලූ ප‍්‍රාන්ත වෙත ගමනේ යෙදුනේය. දිල්ලියේ සිටියදී ඔහුට සෘෂිවරුන්, යෝගීන්, ස්වාමිවරුන් සිටින ඉසව් පිළිබඳ තොරතුරු අසන්නට ලැබුණි. හිමාලය වෙත අර්ජුන ගමන් ඇරඹූයේ ඒ ලද නිශ්චිත තොරතුරු අනුවය.
හිමාලය යනු සංකීර්ණ කඳු පන්තියකි. කාර්කෝරාම්, හින්දුකූෂ් යන කඳු වැටි මේ කඳු පන්තියේ ඉහළම ප‍්‍රදේශයි. නේපාලය, භූතානය, ඉන්දියානු ප‍්‍රාන්ත වන අරුනාචල්, උත්තර චාන්, සිකිම්, හිමාචල්, ටිබැටය, ජම්මු, කාශ්මීර්, ලඩක් යන මෙකී සමස්ත භූ පරිසරය තුළම හිමාලය කඳු වැටිය තම අණසක පතුරුවා ගෙන විහිදී පැතිරී ඇත.
සංස්කෘත බසින් හිමාලය යන්න හිම් ලාසා යන්න අර්ථ දැක්වෙයි. හිම් ලාසා යනු හිම වාසස්ථානය යන්න අරුත් සහිත හිම උපත හිමෙන් වැසුණු හිම තට්ටුව යන අරුත් කැටිවූ වචනයකි. පාලි බසින් එය හිමවත් ලෙස දැක්වෙයි. මෙය විශ්වයේ ඉහළම ස්ථානය සහ තවත් ඉහළම ස්ථාන 14 කට උරුමකම් කියයි. මෙහි උසම ස්ථානය වනුයේ එවරස්ට්හි පාමීර් ගැට්ට යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි.
ලොව විශාලම ගංගාධාර තුනක් වන ඉන්දු, බ‍්‍රහ්ම පුත‍්‍ර, යැංසි යන ගංගාධාරා ත‍්‍රිත්වයම උපත ලබන්නේ හිමාලයෙනි. මෙහි ජන සමාජය ඉන්දු සහ ටිබෙට් ජනතාවගෙන් සමන්විත වන අතර ආගම් හින්දු සහ ටිබෙට් බෞද්ධ දහමයි.
හිමාලයේ හයිද්‍රා සහ රිෂිකේෂිහි යෝගී ආශ‍්‍රම ගණනාවක්ම පිහිටා ඇත. මේ ගමන යන්නට අර්ජුන දිල්ලියේ සිට නැගුනේ දුම්රියකටය. එය පැය ගණනක දිගු ගමනකි. නන්නාඳුනන මගී ඉන්දියානුවන් අතරට එක්වූ අර්ජුන දුම්රිය අසුනකට බර දුන්නේය.
|
ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමආරච්චි |
ආ දුර කොතෙක්ද කියන්නට නොදන්නා සංසාරයේ මේ දේශයේම ජන්ම ලාභය ලැබ මේ අරණම සොයා ගිය ගමනක් අතීත භවයන් තුළ තිබුණේ දැයි කවුළුවෙන් පිටතට යොමු කළ නෙතට හසුවන දසුන් අතරේ ඔහු කල්පනා කළේය. සසර මෙතෙකින් නිම නොවේ නම් නැවතත් මේ දසුන් සොයා ගමන් පැමිණෙනු ඇත්දැයි කල්පනාවද හදිස්සියෙන් මෙන් ඔහුගේ සිතට පිවිසියේය. හැන්දෑව රැගෙන එන කළුවර හුදෙකලා මගියෙකුගේ සිත තෝතැන්න කොටගෙන ඉපදෙන සහසක් සිතිවිලි වල තිඹිරිගෙයම විය. තවත් අතෙකින් දම්පාට හැන්දෑව සමග සිත් සෙනසුන මත උපන් ඒ සිතුවිලි කවියක පදවැල් වැන්න.
ස්වාමිවරු යනු ගිහි ජීවිතයෙන් මිදී යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ අය වූ අතර යෝගීන් යනු ගිහි ජීවිත ගත කරන අතරතුරම යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන පිරිසයි. සෘෂිවරුන් යනු බොහෝ සෙයින් සිත දියුණු කරගත් අනුන්ගේ සිත් දකින කියන ඥානයෙන් යුත් තමන් තුළට කැටි කොට ගත් ශක්තියේ අනුහසින් අනුහස්පාන එකී ශාස්ත‍්‍රයේ පරතෙරටම ගිය උත්තම පිරිසකි.
සෘෂිවරුන් කිසිවකුගේත් ඇස ගැසෙන්නට නොපැමිණෙන තරම්ය. සෘෂිවරයකු පුද්ගලයකු අබිමුවට පැමිණෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඒ පැමිණෙන්නේද ඒ පැමිණීමෙන් සුභාර්ථයක් සිදුවන පසුබිමකදීය. සෘෂිවරුන් නිහඬය. ඒ මුවින් වදනක් ගිලිහෙන්නේ නම් ඒද කලාතුරකිනි. එහෙත් ඒ නැණස, ඒ දැක්ම ඉතා තියුණුය. ගැඹුරුය. වසර ගණනාවක් හිමාලයට ගියත් සෘෂිවරයකු හමුවීම පුද්ගලයකුට අහම්බයකි. ඒ සෘෂිවර ජීවිත අරමුණ වෙනුවෙන්ම කැපවී හුදෙකලාව තුළම පවතින හෙයිනි.
අර්ජුන රිෂිකේෂ් හි තපෝවන් ආශ‍්‍රමයේ නැවතුණේය. සංඛරාචාර්ය නැමැති ගුරු පරපුරේ නිකාය නවයට අයත් දණ්ඩි ස්වාමි පරපුර හෙවත් භාරතී ගුරු පරපුරේ වර්තමාන ආචාර්යවරයකු වූ ප‍්‍රමෝද් ආචාර්යවරයා යටතේ අර්ජුන හිමාලයේ නැවතී යෝග ශාස්ත‍්‍රය හැදෑරුවේය. අද වෙද්දීත් අප රටේ පෘථුල ලෙස ව්‍යාප්තව නොමැති ත‍්‍රිස්ථාන හත සහ අෂ්ඨාංග නැමති යෝග ක‍්‍රම හැදෑරීමේ ඉඩහසර අර්ජුනට එහිදී හිමි වූයේය.
ඉතාමත් සරල ජීවන ක‍්‍රමයකට යෝගාවචරයකු හුරුපුරුදු විය යුතුය.
ඒ සරල ජීවන ක‍්‍රමය පිළිබඳව විස්තර ලබන සතියේදී.
සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන වික‍්‍රමආරච්චි මහතා (ටෙලි . 0775856479 ) මෙම දුරකථන අංකයෙන් සම්බන්ද කරගත හැක . ලිපිනය .අස්සැද්දුම -කුලියාපිටිය (නදී)
සසර කෙටි වෙන මාර්ගයට පා තබා ඇත ඔබ මේය ලිපිය කියවා සතුටින් ඉන්නේ මා (හේ)
ගොඩාක් පින් මේ දාල තියෙන ලිපියට (දී)
නියම ලිපියක් (දී)
ලංකාදීපයට ස්තුතියි (දී)
ජයවේවා,, මිනිසුන් තව තවත් මේවා ගැන දැනුවත් කරන්න (දී)
අවුරුදු 2500 ජිවත් වෙන යෝගීන් ඉන්නවාද (දී)
මට ඔබ දන්නා දෙය කියලා දෙන්න පුලුවන්ද (දී)
මොනවා නැතත් පංච ශීලය රකිනවා නම් ඒ හොඳටම ඇති (නි)
අර්ජුන මහත්මාව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් http://www.sriyogi.lk/ -https://www.facebook.com/sriyogi.lk වෙත පිවිසෙන්න..... (¯`v´¯) .`•.¸.•´ ? ¸.•´.•´¨) ¸.•¨) (¸.•´(¸.•´ (¸.•¨¯`* ස්තූතියි~~" (නි)
රොෂාන් මට දැනගන්න පුලුවන්ද .මම ඉන්නේ ජපන්වල මට ඔබ දන්න්න දෙය කියල දෙනවද (අ)
ඔබ නොමිලේද උපදෙස් දෙන්නේ? (නි)
නිල්මිණි, ඔයාට ඒ වන්දනාව ගැන මම කියලා දෙන්නම් ඕනෑ නම් (නි)
මම කැමතියි යෝග ඉගෙන ගන්න.උදව් කරන්න.ඔබට පින් (නි)
ඔබගේ මේ ඇති මහත් ව්‍යායාමය ලෝකෝත්තර සුවය සඳහා යෙදුවා නම් කොතරම් අගනේද? (දී)
ඔබගේ දුරකථන අංකය හෝ ඊ මේල් ලිපිනය ලබාදෙන්න. (නි)
අර්ජුන මහත්මයාණෙනි, ඔබ උගත් ශාස්ත්‍රය උගැන්වීම සිදු කරනවද? එසේනම් ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් හෝ ඊ මේල් ලිපිනයක් ලබා දෙන්න. (නි)
මේවා දැක්කම පීඩනයෙන් ඉන්න මිනිස්සු කොහොම හරි, කොහෙන් හරි ගොඩ එන්න උත්සහ ගන්නවා. දේහ විද්‍යාවට අනුව මට පෙනෙන්නේ වෙන දෙයක්. මතක තියා ගන්න යෝගා කියන්නේ එකක්. යෝගා ව්‍යායාම කියන්නේ එකක්. මගේ ළග ලංකාවේ පළවුණා හොදම පොත තියෙනවා. (නි)
අර්ජුන මහත්මයා කරුණාකරලා ඔබව සම්බන්ධකර ගැනීමට පුළුවන් අංකයක් පලකරන. මට සුර්ය වන්දනාව ගැන දන ගැනීමට පුළුවන් නම් ඔබට පින්.(නදී)
මිතුරානෙනි, ඔබගෙන් යෝග උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි. මග පෙන්වන්න. ඔබට තෙරුවන් සරණයි.(නදී)
අපේ ගෞරවනීය ගුරු මිතුරානෙනි,ඔබ කරන නිහඬ සේවයට පින්සිදු වේවා! ඔබගේ අරමුනු සාර්තක වේවා!!!! (නි)