(රෝෂන් තුෂාර)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු  යැයි කියන මොහොමඩ් ශිරාන් බාෂික් තවත් දින 90ක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අද(15) අනුමැතිය ලබා දුන්නේය.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයාට ලැබී ඇති බලතල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) වගන්තිය ප්‍රකාරව මෙසේ පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇති අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

මොහොමඩ් ෂෙරාන් බාසික්,ඩුබායිහි සැඟව සිටියදී පසුගිය අගෝස්තු 14 වැනි දින අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව ඊයේ දින දක්වා පොලිසියේ රඳවා ප්‍රශ්න කෙරිණි.

ශිරාන් බාසික්  එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර සංවිධානාත්මක අපරාධකරුවන්, ත්‍රස්තවාදීන් හෝ අන්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, ඔවුන්ට අරමුදල් හෝ වෙනත් ආකාරයේ මූල්‍ය ආධාර සැපයීම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට ආධාර අනුබල දීම, දැනුවත්ව ගිනි අවි රැස් කිරීම, ළඟ තබා ගැනීම හෝ එවැනි ක්‍රියාකාරකම්වල නිරතව ඊට අදාළ තොරතුරු ආරක්ෂක අංශවලින් දැන දැනම සඟවා තැබීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය ක්‍රියාකාරකම්වල නිරතවීම යන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.