කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන රිසස් එනර්ජි පීඑල්සී (Resus Energy PLC) සමාගම එහි ලැයිස්තුගත කළ හරිත බැඳුම්කරය ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේදීද (LuxSE) ලැයිස්තුගත කළ බව එම සමාගම අනාවරණය කරයි. 

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 19 වැනිදා Luxembourg Green Exchange හි මෙම ලැයිස්තුගත කිරීම සිදු කර තිබේ. මෙම හරිත බැඳුම්කරය කොළඹ කොටස් හුවමාරුව තුළ තවදුරටත් ලැයිස්තුගත වී තිබෙනු ඇති බවත්, මෙම ලැයිස්තුගත කිරීමත් සමගින්ම එම බැඳුම්කරය ද්විත්ව ලැයිස්තුගත කිරීමකට පත්ව තිබෙන බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම හරිත බැඳුම්කරය ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ ගනුදෙනුවීමක් සිදු නොවනු ඇති බවත්, එම හරිත බැඳුම්කරයට අදාළ ගනුදෙනු සහ පියවීම් සියල්ල කොළඹ කොටස් හුවමාරුව හරහා ශ්‍රී ලංකා රුපියල් වටිනාකම් අනුව සිදුවනු ඇති බවත් රිසස් එනර්ජි පීඑල්සී වැඩිදුරටත් පවසයි.